HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

විස්මයජනක ලොව ලොකුම ඩිජිටල් කැමරාව මෙන්න!

ඩිජිටල් කැමරාවේ ආගමනයත් සමඟ, ඡායාරූප ගැනීම ඉතාමත් පහසු කාර්යයක් බවට පත් වී අවසන්. මීට වසර ගණනාවකට පෙර, ඡායාරූප ලබා ගැනීම සිදුවූයේ, ඇනලොග් වර්ගයේ කැමරා යොදා ගනිමිනි. මේ කතාව විද්‍යාඥයන් නිර්මාණය කළ ලෝකයේ විශාලතම, හරියටම කියනවා නම්; ලෝකයේ දැවැන්තම ඩිජිටල් කැමරාව ගැනය. කෙසේ නමුත්, මේ කැමරාව අපට එදිනෙදා අපේ වැඩ කටයුතු සඳහා යොදා ගන්න බැහැ. මේ දැවැන්ත කැමරාව සම්බන්ධ වන්නේ තාරකා විද්‍යාව සමඟය. මේ කැමරාවේ අරමුණ වන්නේත්, එය නිර්මාණය කළේත් ගැඹුරු අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීම සඳහාය. කැමරාව ඇත්තේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් තුළය. 


ලෝකයේ ලොකුම ඩිජිටල් කැමරාවේ විශාලත්වය මේ පිරිස සැසඳීමෙන් තේරුම් ගත හැකිය

වේරා සී රූබින් ඇමෙරිකානු තාරකා විද්‍යාඥවරියකි. ඇය සොයා ගැනීම් රැසක් සඳහා දායක වූ විද්‍යාඥවරියකි. ඒ, 1960 දශකයේදීය. අඳුරු පදාර්ථ පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට පුරෝගාමී වූ ඉතාමත් වැදගත් ඇමරිකානු තාරකා විද්‍යාඥවරියකි. ඇය 1928 දී උපත ලබා 2016 දී අභාවප්‍රාප්ත වූවාය. රූබින් තාරකා විද්‍යාව ක්ෂේත්‍රයේ බොහෝ අභියෝගවලට මුහුණ දුන් තැනැත්තියකි. තාරකා විද්‍යාවට පිවිසීමට කැමති කාන්තාවන්ට ආදර්ශයකි. මග පෙන්වන්නියකි. වේරා සී රූබින්ට ගෞරවයක් ලෙස ඇයගේ නමින්, අති නවීන උපාංගවලින් සමන්විත නව අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයක් ඉදි කර ඇත. 

මේ නිරීක්ෂණාගාරය පිහිටුවා ඇත්තේ දකුණු ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ, අන්දීස් කඳු අතරේ, කෝකිම්බෝ කලාපයේ සෙරෝ පැචොන් පළාතේ එල් පෙනොන් කඳු මුදුනේ, මීටර් 2,682 ක් උසකින් මෙම අපූරු නිරීක්ෂණාගාරය ඉදිකර ඇත. තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් ඉදි කිරීමට මෙම කඳු මුදුන තෝරා ගැනීම සිදු කෙරුණේ, පැහැදිලි අහසක් සහ තරු නැතිනම් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස අන්දීස් කඳුකරය සැලකෙන බැවිනි. ඒ වගේමයි අන්දීස් කඳුකරයට ඉහළින් අහසේ වාතය වියළිය. එය ද රාත්‍රී අහස පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හේතුවකි. 


චිලි රාජ්‍යයේ ඇන්දිස් කඳුකරයේ මෙම කැමරාව ස්ථාපිත කර ඇති අයුරු

ඇමෙරිකන් ජාතික විද්‍යා පදනම වේරා සී රූබින් නිරීක්ෂණාගාරය ඉදි කිරීමට මුදල් යොදවා ඇත. මෙය දශක ගණනක් තිස්සේ කළ ඉදිකිරීම්වල ප්‍රතිඵලයකි. ලෝකයේ විශාලතම ඩිජිටල් කැමරාව මෙන්ම, විශ්වය නිරීක්ෂණය කිරීමට අති ප්‍රබල පරාවර්තක දුරේක්ෂයක් ද මෙම නිරීක්ෂණාගාරයට අයත් වෙයි. වේරා සී රූබින් නිරීක්ෂණාගාරයේ ඇති ලොව විශාලතම; අති දැවැන්ත ඩිජිටල් කැමරාව, ගිගාපික්සල් 3.2 වර්ගයේ කැමරාවකි. තාරකා විද්‍යාව සඳහා මෙතෙක් නිපදවූ විශාලතම ඩිජිටල් කැමරාව මෙයයි. 

අතිශය තියුණු මෙන්ම අතිශය පුළුල් දර්ශන ක්ෂේත්‍රයකින් යුත් රූප, එනම් මිනිස් ඇසට දැකගත නොහැකි සියුම් දේවල් පවා, හසුකර ගැනීමට ඊට හැකියාව තිබේ. ගිගාපික්සල් 3.2 (3200 මෙගාපික්සල්) කැමරාවක් වන බැවින් මෙම දැවැන්ත කැමරාව සාමාන්‍යයෙන් අප භාවිතයට ගන්නා ස්මාර්ට් ජංගම දුරකථන කැමරා 260 කට සමාන වෙයි. දැවැන්ත කැමරාවේ එක් ඡායාරූපයකින් මුළු සඳෙහි ප්‍රමාණය මෙන් 45 ගුණයක් විශාල අහසේ ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකිවෙයි. මෙම කැමරාවට සැතපුම් 15ක් (කිලෝමීටර් 25ක් පමණ) දුරින් ඇති ගොල්ෆ් බෝලයක් පවා ඉතා තියුණු ලෙස දැකගත හැකිවෙයි. කැමරාව ටොන් තුනක් පමණ බරය. කැමරාවේ ප්‍රමාණය කුඩා මෝටර් රථයක් තරම්ය. කැමරාව විශාල කාච තුනකින් සමන්විත වන අතර, ඉදිරිපස කාචය මීටර් 1.5 කට (අඩි 5කට) වඩා විශාල වන අතර එය තාරකා විද්‍යාව සඳහා මෙතෙක් සාදා ඇති විශාලතම කාචය ද වෙයි. ‍ 


ලෝකයේ ලොකුම ඩිජිටල් කැමරාවේ කාචය

වේරා සී රූබින් නිරීක්ෂණාගාරය තුළ සිමෝනි සමීක්ෂණ දුරේක්ෂය නමැති පුළුල් ක්ෂේත්‍ර පරාවර්තක දුරේක්ෂයක් ද අන්තර්ගත වේ. මෙහි ප්‍රාථමික දර්පණය මීටර් 8.4 ක විශ්කම්භයකින් යුක්ත වන අතර, එය සෑම රාත්‍රී කිහිපයකට වරක්ම මුළු දකුණු අහසම ඡායාරූප ගත කිරීමට හැකිය. වේරා සී. රූබින් නිරීක්ෂණාගාරයේ ප්‍රධාන අරමුණ ලෙගසි සර්වේ ඔෆ් ස්පේස් ඇන්ඩ් ටයිම් නමැති දස අවුරුදු සමීක්ෂණයක් පැවැත්වීමය. මෙම සමීක්ෂණය මගින් විශ්වයේ වෙනස්වීම් අධ්‍යයනය කෙරේ. අහසේ සිදුවන වෙනස්වීම්, තාරකා පිපිරීම්, ග්‍රහක, සහ අනෙකුත් ක්ෂණික ආකාශ වස්තු පිළිබඳව අඛණ්ඩ දත්ත රැස් කිරීම සිදුවෙයි. අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය පිළිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වෙයි. මන්දාකිණිවල ව්‍යුහය, ඒවායේ චලනයන් සහ විශ්වයේ සමස්ත පරිණාමය අධ්‍යයනය කිරීමට දත්ත සැපයීම සිදු කරයි. 

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති නව ග්‍රහක සහ වෙනත් වස්තූ දස ගුණයකින් පමණ වැඩි කිරීමට සමත් වන බවට අපේක්ෂා කෙරේ. නිරීක්ෂණාගාරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමත් සමඟ, ලබාගත් පළමු ඡායාරූප මේ වන විට මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් අපට දැක ගැනීමට ලැබී අවසන්ය. 

ලුසිත ජයමාන්න 

බීබීසී ඇසුරිනි 


 

අදහසක් පළ කරන්න

0 Comments